Wednesday, July 11, 2018

"දැන් නම් බය කියන්නේ මොකක්ද අපි දන්නේ නැහැ"


වීරයෙකුගේ ද පෙකණි වැල සිඳ දමන්නේ තවත් අම්මා කෙනෙකුගෙන් වුවද වීරයන් තැනිය හැක්කේ එකම තැනකට ය. ඒ තැන මොකක්දෝ වාසනාවකට මේ පුංචි රටේ දැන් දැන් හැදීගෙන එනවා ය. ඒ තැන සෑම වීරයෙකුටම හිමි නොවුවද විශිෂ්ටයාගේත් විශිෂ්ටයාට හිමිවෙනවා ය. ඒ තැන පාසලය. ටක්කෙටම කීවෝතින් කොළඹ ආනන්ද විද්‍යාලයය.  මේ තැන ගැන නොවේ ය. ඒ තැනින් බිහි වූ වීරයන් ගැන ය. වීරත්වය නම් එවරස්ට් තරණය කිරීමය. ලුතිනන් කර්නල් ජගත් අල්විස් මහතා මෙම ත්‍රාසජනක අත්දැකීමට මඟපෙන්වන්නා ලෙසින් කටයුතු කළ අතර සජන විජේතුංග සිසුවාගේ නායකත්වය යටතේ පවන් පින්සර, පෙහාන් දුල්සර හා යශින්ද්‍ර නාවලගේ එවරස්ට් තරණයට සාමාජිකත්වය දැරුහ.

Friday, July 6, 2018

"උඹේ කෙල්ලත් මගෙත් එක්ක නිදාගත්තා බං"

වැස්සක් වහින්නේ නැතුව හිරුගේ බැල්මෙන් කරකුට්ටන් වෙන්න වේලිලා ගියපු පොළව ගැන අදහසක් තියෙනවද ? මගේ හිතත් හරියට ඒ වගේ.. ඉඩෝරයට  ගංගා ඇළ වේලි හිඳිලා යනවා   වගේ මගේ පපුවේ ලේ නහර හිඳිලා ගිහිං වගේ වේදනාවක් දැනෙනවා. කොළ පාට තෘණ බිම් වේලිලා ගිහිං වගේ මගේ පපුවෙත් මට දැනෙනවා සෛලයේ ඉඳන්ම මෝරන එළියට විසික්කා කරන්න බැරි කාලකන්ණි සන්තාපයක්.. ඔයා දන්නවද, ලස්සන මල් පිරුණු ගස් විඩාවෙන් බර වෙලා, කොළ හැලිලා කනාටු වෙලා වගේ මට දැනෙනවා නීරස හුදකලාවක්.. ! තනිකමක් !

Wednesday, July 4, 2018

“අඩෝ මේක අපේ රට, එහෙම පුළුවන් ද තොපිට රඟන්න.. ලේ කකියනවා යකෝ..”


(මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත ය. )


යම් සිද්ධියක් තුළ ඒ ඒ ආස්ථානයන් තුළ අතිශය පෞද්ගලික වූ කාරණා පොදු කාරණා ලෙස හුවා දක්වමින් ජාතික ගැටළුවක් කොට ගැනීම බාල ක්‍රියාවකි. “නියපොත්තෙන් කඩන්න ඕනේ එක, පොරවෙන් කපන්න වෙනකං ඉන්න හොඳ නැහැ” ගමේ පැරැන්නන් එහෙම කීවේ කට කහනවට නොවේ ය. සාකච්ඡා කොට තීන්දු තීරණ වලට එළැඹියානම් පෞද්ගලික ගැටළු ජාතික ගැටළු දක්වා විහිද යන්නේ නැත.

අඹුඩය ලිහාගෙන පිලේ වැලේ දාගන්නට බැරි එවුන් අනුන්ගේ යට ඇඳුම් ගැන තැවී, ශිෂ්ටත්වය ගැන පතරංග ජාතක කතාන්දර ගොතමින් ද ජාතික මාමකත්වය ගැන කියා දෙස් දෙවොල් තබමින් ද ඇවිදින නියා දුටු නිසාවෙන් ජාතික ගැටළුවක මූලාරම්භය සොයා ගියෙමි. එහිදී හමුවූ ස්විශේෂ පුද්ගලයින් අතින් හෙලිවූ මෙම කතාන්දරය පෞද්ගලිකත්වය ආරක්ෂාවනු වස් හා ඔවුන්ගේ ආරක්ෂාව ගැන තකා මනඃකල්පිත ස්වරූපයෙන් ඉදිරිපත් කරන්නට මා අදහස් කරමි. එහෙයින් මෙය සත්‍යය කතාව පසුබිම් කරගත් මනෝමූලික ගෙතිමක් වග නුඹලාට හැඟෙනු ඇත.

[ මෙය බොහෝ ගිය අවුරුද්දේ දවසක මේ රටේ සිදු වූ එක්තරා ජාතිවාදී ගැටළුවක මූලයේ ඇඳුනු කතාන්දරයකි. එහෙත් එහි ස්වරූපය මිනිසුන් ඉදිරියේ දෘශ්‍යමාන වූයේ වෙනත් අයුරකිනි. ඒ තුළ දේශපාලනය වීය. එහෙත් මෙය දේශපාලනය ගැන කතාවක් නොවේ. ඒ ගැන ලියන්නට හොඳම දවස අද නොවන නිසා පසුවට තබා මේ කතාව ලිවිය යුතු යැයි සිතමි ]

නිර්මලා ලා මේ භූමියේ දී විඳි අකටයුතුකම් බොහෝ ය. කාලයකට නිර්මලාගේ හිත වේලුනු පරඬැලක් වාගේ ය. එය ගිණි තිබ්බෝතින් චිරි චිරි ගා ඇවිලෙන්නේ ය. හුඟක් වෙලාවට හිතේ මස් වැදලි පවා හේතුවක් නැතුවම රිදුම් දෙනවා ය. මිනිසුන් ජීවත්වෙන්නේ ආශාවන් අරමුණුකොටගත් ලෝකයක වග නිර්මලා දනී. එහෙයින් දැන් දැන් ඈට ද ඕනෑ අරමුණු කොටගත් ආශාවන් වලින් සංසිඳෙන්න ට ය. රාහුල ලා වදන්නට ඈ යශෝදරාව නොවේ ය. අනෙක් අතට පෝය හඳට පන්සලට ගාටන පියදාස සමඟ අතිනත ගත්ත ද පියදාස සිදුහත් කෙනෙක් නොවේ ය. ඉඳින් නිර්මලාට කල්කදුරු තිත්ත වූ ඇගේ ජීවිතයට නිවීමක් ඈ සෙව්වා ය.

ගමේ එවුන් කතාවට කියන්නේ, කේරළ ගංජා ගහන එවුන්ට හෙණ ගහන්න ඕනෑ කියාය. ඒ උනාට හඳ පානේ රොකොට්ටුවක් හදාගෙන හඳ එළිය යට හඳට බඩගාන සූස්තිකාරයන් ගැන නිර්මලා හොඳින්ම දන්නවා ය. උන්ට ගැසූ හෙණයක් නම් නැත.  සැරින් සැරේට අමතපදන් වෙන පියදාස නිදි යහනේ දිගෑදෙන විට හෙණ ගැහුවත් හඳ පානට කිට්ටු වෙන්නට නිර්මලා සිතුවා ය. නිර්මලාට ඕනෑ මත්වෙන්නට ය. ඒ මත් බාවයෙන් කෙඳිරි ගාන්නට ය. ඒ සිතීමට තටු ලැබෙන්නට සෑහෙන කාලයක් ගත වූයේ, ඔය පොත් පත්තර කතාවල කියන්නා සේ දොරට තට්ටු කරන්නට හෝ ජනේලයට තට්ටු කරන්නට දීඝ ගාමිණි කෙනෙකු ගම මුළු ආසන්නම ඇවිද ගිය ද නොසිටි නිසාය.

Sunday, July 1, 2018

"බඩගිනියි අම්මේ" කියා බඩගින්නට වස කන මහා පොළවේ දරුවෝ

මේ ලෝකයේ උතුම් වූත් ගෞරවනීය වූත් පදවිය වන්නේ මාතෘත්වය හා පීතෘත්වය බව සැබෑවකි. ඒත් ඒවා මිනිසෙකුට බර වැඩිය. ඒවා මේ මහා පොළවේ දුහුවිල්ලෙන් බැට කන, ගිණියම් හිරු රැසින් පිච්චෙන මිනිහෙකුට දරාගන්නට අසීරු වැඩිය. එහෙත් ඔවුන් ඒවා මහා ධෛර්යෙන්, මහා ඕනෑකමකින්, මහා ආදරයකින් දරාගෙන සිටින්නෝය.


වියලිකලාපය කියන්නේම හඬන්නට තටමා කළු ගැහෙන අහස්කුළු වලට රැවටී සුසුම් හෙළන මිනිසුන්ගේ පළාතක් ය. අන්දර යායවල් වල කටු වලට හීරී තුවාල වූ දෙයත් ද මඩ කහට බැඳී කුණු වී වක් ගැසුණු නියපොතු ද ගල් තැලුම් පිරුණු දෙපා ඇති, ඒ දෙපා බිම තබා ගන්නට නොහැකිව කොර ගසන අප්පච්චිලා එකී මිනිසුන් අතර අඩුවක් නැත. වැව් තාවුල්ලක මුගුණුවැන්න කොළ මිටක් කඩා වේලක වෑන්ජනයක් පිහිමහන, දිය සිඳී ගොස් ඉරිතැළුණු වැව් පතුළේ නෙලුම් අලයක් වෙනුවෙන් බිම කණින, වියලුනු පොළවකින් ඵලයක් ලැබිය නොහැකි තැන ගම් මැදි හතේ කුලී වැඩ සොයා සක්මනේ යන අම්මලා මෙහි බොහෝය.

“මහත්තයා, මම දන්නා තැනක් තියෙනවා.. ෆුල් සේෆ්ටි.. පොලිස්සියෙන් පනින්නේත් නැහැ.. ගානත් අඩුයි”


ඇතුගල් පුරවයේ බුදු පිළිමය තේජාන්විත ය. එහි නේත්‍රා බැලුම් කුරුණෑගල නගරයට සෑම දිනකම ගෙන ආවේ ආශිර්වාදයකි. පහල නරගයේ ජනයා එකී පිළිමය දෙස බලා සෑම විටෙකම පහන් සිතුවිලි වලින් හදවත ඒකාලෝක කර ගනියි. කෙලෙස්වලින් පිරුණු මුග්ධ බවට සීනී බෝල සාරුවා ගාමින් විඳිය යුතු ජීවිතය විඳවමින් ගෙන යන මිනිසුන් එකී ඇතුගල මත ගොඩ නැගුනු එකී පිළිමය යට මල් පහන් තබමින් ජීවිතයේ අනිත්‍යය බව තේරුම් ගන්නට උත්සාහ කරනවා ය. පහළ ඇත්කඳ වෙහෙරින් නැගෙන බුද්ධ වචනයේ හඬ ගුවන් තලය පුරා අරක් ගෙන ඇත. දේව ගීතිකා වයමින් සාමයත් ප්‍රේමයේත් පණිවිඩය බෙදන ඇතුගල පාමුල ඇති කිතුණු පල්ලිය මනුක්ෂත්වය උගන්වමින් සිටියි.

Friday, June 29, 2018

"වෙන එවුන් විකුණාගෙන කෑවේ ඇඟ.. උඹ වෙනස් සඳරු.. උඹ විකුණන්න හදන්නේ මගේ කතාව.."

මා මේ කතාව ලියනවා ද නැත්ද යන්න බොහෝ කාලයක් තිස්සේ සිතුවෙමි. ඊට හේතුව වූයේ මේ කතාව මත පදනම් වූ කතා බහ යෙදෙන වේලාවක ඈ මා හට එක එල්ලයේම කළ චෝදනාවයි. 


"වෙන එවුන් විකුණාගෙන කෑවේ ඇඟ.. උඹ වෙනස් සඳරු.. උඹ විකුණන්න හදන්නේ මගේ කතාව.." 
ඉඳින් මා ඒ කතාව නොලියා සිටින්නට අදහස් කරගෙන සිටියෙමි. 

මක්නිසාදයත් මේ මගේ කතාව නොවේ ය. මේ කතාවේ ඇගේ කතාවය. ඈ ඒ කතාව මා අබියස තබන්නේ දහසකුත් තැවුල් සිත් විඳ අවසානයේ ය. කෙසේ වෙතත් ඇගේ චෝදනාවට වලංගු නොවන පරිදි ඇගේ කතාව කෙසේ හෝ ලියා පල කල යුතුය යන සිතුවිල්ලෙන් මා නිතර දෙවේලේ බැට කෑවෙමි. අවසානයේ මා මෙය සටහන් කර බොහෝ කාලයක් බලා සිටියෙමි. දැන් ඒ කාලයට නිමාවක් දිය යුතු කාලය පැමිණ ඇත.

"සමහර මිනිස්සු කහ ඉරෙන් මාරු වෙනකොට හැරමිටියට පයින් ගහනවා"


මලිත් 
ප්‍රභාතයේ හිරු එළිය මනරම් ය. තුරුලතා පිණි දියෙන් දෝවනය වූ උදෑසනක දෑස් ඉම උපදින සේයාවන්ගෙන් මනසට ශාන්තිය ලඟා වේ. එකී ශාන්තිදායක වූත් එකී මනස්කාන්ත වූත් සිතුවම් පට දිගේ ඉදිරියට ඇදෙන්නට නම් අඳුර උරාගත් ආලෝකය තිබිය යුතුය. ආලෝකයට කළ හැකි දෑ බොහෝය. ආලෝකය පිරුණු තැන් වල ද අඳුරු කුටි ඇත. ඒ මේ ලෝකයේ වෙනත් කතාවකි. මේ ලෝකය හිරුගේ දීප්තියෙන් නැහැවෙද්දීත් මේ ලෝකය උදා වූ ආලෝකයේ කිරණින් ආඩම්බරයෙන් වාගේ හුස්ම අදිද්දීත් එකී ආලෝකය නොදැක, අඳුර තුළ හුස්ම අදින ජීවිත අප අතර කොතෙක් ඇත්ද..